02

🌼මිලින වූ මලක් 🌼
<!--Begin: Star-Clicks.com HTML Code--><script type='text/javascript' src='https://www.star-clicks.com/secure/ads.php?pid=71931097650466854'></script><!-- End: Star-Clicks.com -->
කෙටි කතාව

“අයියේ..මෙන්න බත් ඩිංගිත්තක් ගෙනාවා.කාල හිටිය නං..අද එන්න පරක්කුත් වුනා.අපේ සමන්මලී කෙල්ල ආවනෙ..හප්පේ කොයි කාලෙකට පස්සෙද..අවුරුදු විස්සකින් විතර මයෙ හිතේ..ඕකි ගැන මම අදහස අත් හැරලමයි හිටියෙ..අර සමන් කොලුවත් එක්කම ආවා.දැන් උන්ගෙ ලොකු ළමයටත් අවුරුදු දහනමයක්.මෙච්චරකල් එන්න අපේ එකීට හිතේ තිබුණට සමන් ළමය තමයි එන්න අකමැතිවෙලා තියෙන්නෙ අපි ගහල පන්නාගනී කියලා..අපේ හිතේ දැන් වෛරයක් නෑනෙව. ”

වැස්සෙම ගහල කොලයක් ඉහලගෙන ගෙට ගොඩ වෙච්ච පොඩිනා කෙසෙල් කොලේක ඔතපු බත් එක සිමියොන්ගෙ අතට දුන්නා.
බඩගින්නෙම රෑ කෑම ගේනකන් බලා හිටපු සිමියොන්ගෙ බඩගින්න නැති වුනේ පොඩිනගෙ ඒ කතාව අහල.

“ඌ ඇවිත්..අවුරුදු විස්සකට පස්සෙ ඌ ආයෙත් ඇවිත්..”
සිමියොන්ගෙ හිත මොරදෙද්දි වාරු නැති අතැඟිලි සැරයටිය තදින් මිරිකගත්තෙ අලුත් පණක් ඇවිත් වගේ.

“මේ ගෙයි හැමතැනෝම තෙමෙනවනේ.වහලෙ දිරලා.කොයි වෙලාවෙ කඩා වැටෙයිද දන්න නෑ..උඹට කොයි තරම් නම් කියනවද, අර අපේ දිහාට ඇවිත් ඉන්ට කියලා.කොහෙද ඉතිං,අහන එකක්යැ.අර කෙලී නැති වෙච්ච දවසෙ ඉදං උඹ මේකෙ තනියම..”

පොඩිනා තෙමෙන තැන් වලට භාජන තියමින්  තනියම කියවනවා.සිමියොන්ට ඒ කිසිදෙයක් ඇහුණෙ නෑ.ඔහුගෙ හිතේ අවුරුදු විස්සක් පුරාවට තෙරපෙමින් වළි කෑව ඒ දරු කැක්කුම මුසු වූ කෝපය අලුත් වෙමින් ඔහුව වෙලා ගනිමින් තිබුනා.

“ඈ අයියෙ..දැන් අපේ මලිති කෙල්ල නැතිවෙලා අවුරුදු විස්සක්  විතර වෙනව ඇති නේද...?ඒ කාලෙමනෙ අපේ කෙලිත් අර සමන් එක්ක පැනල ගියේ..”

අනේ අප්පේ මටත් පිස්සු.මාත් පුරස්න අහන්නෙ හරි මනුස්සයගෙන්.මේ මනුස්සයට කතා කරන්න පුළුවන් එකක්යැ..අර කෙල්ල නැති උනත් හරි අයියගෙ කටින් එක වචනයක් පිටවුනේ නැති හැටි..අනේ සංසාරේ..දරු දුක කොහොම උහුලන්නද..

පොඩිනා එහෙම හිතමින්ම ටෝච් එක අතට ගත්තෙ ගෙදර යන්න හිතාගෙන.

“සමන්මලීත් කීවා මාමව බලන්න ඕනැයි කියලා.දැන්ම යන එකක් නෑ මයෙ හිතේ.හෙට දිහාට එන්නෙ නැතෑ..”

හතර වටින් අඳුරු ගලාගෙන එද්දි අනෝරා වැස්සෙම පොඩිනගෙ ටෝච් එළිය නොපෙනී යන හැටි බලාගෙන සිමියොන්ගෙ හිත අතීතයට පියමං කලා.

සිමියොන්ගෙ බිරිඳ මෙලොවින් සමුගත්ත දා ඉඳන් සිමියොන්ගෙ තනි නොතනියට හිටියෙ ඔහුගෙ එකම දුව.මලිති..දෙදණ ලඟට දිග කොන්ඩය කරලක් බැඳගෙන චීත්ත ගවුමක් ඇඳගෙන එහෙ මෙහෙ දුවන මලිතිගෙ දඟකාර හිනාව සිමියොන්ගෙ ඇස් ඉස්සරහ මැවිල පෙණුනෙ හරියට අද ඊයෙ වගේ.
අවුරුදු විස්සක් කියන්නෙ සුළු පටු කාලයක්ද? ඒ අවුරුදු විස්ස ඇතුලෙ හැම දවසකම හැම පැයකම හැම විනාඩියකම හැම තප්පරේකම සිමියොන්ගෙ ඇස් වල පසුතැවීමක් සටහන් වෙලා තිබුණා.
සමහරවිට ඒ තමන්ගෙ අහිංසක දුව මරා දාපු පාපතරයාට දඬුවම් නොදුන්න නිසා වෙන්න ඇති.ඒ නිසා මලිතිගෙ ආත්මයට නිදහසක් නොලැබෙයි කියල හිතපු නිසා වෙන්න ඇති.

ඒ කාලෙ හැමතැනම හරි කලබල. ත්‍රස්තවාදියො සිංහල මිනිස්සුන්ගෙ හැමදෙයක්ම විනාස කරන්න පටන් ගත්තා.බැලූ බැලූ අත වෙඩි හඬවල්, බෝම්බ, පිච්චුනු ගෙවල්, බයෙන් මුළු ගැන්වුනු මිනිස්සු.
ගම් වල තරුණයක් බොහොමයක් හමුදාවට බැඳුනෙ රට රැක ගන්න.හමුදාවෙන් ගම් වලට ග්‍රාමාරක්ෂක භටයන් යොදවල තිබුණා.
ඒ අතරින් කෙනෙක් වුන සමන් ගෙ ඇස් නතර  වුනේ මලිති ලඟ.
ඔව්..ඒ ඌ තමයි.වනචර බල්ලා...
ඌ මතක් වෙන වාරයක් ගානෙ සිමියොන්ගෙ ඇස් තරහෙන් දිළිසුනා.

                ***********************

“තාත්තේ..තාත්තේ..”

“ඇයි කෙල්ලෙ මේ කෑගහන්නෙ..”

සිමියොන් උදැල්ල පැත්තකින් තියල ඒ පැත්ත බැලුවා.

“මගේ පිච්ච වැලේ මල් පිපිලා..”
මලිති කෑගැහුවෙ පිච්ච වැලටම ලං වෙලා මල්වල සුවඳ විඳින ගමන්.ඈ ඒ තරම් ආසයි ඒ සුවඳට.

“ඕකටද කෙල්ලෙ කෑගැහුවෙ? මම බැලුවා මේ   සතෙක් වත්ද කියලා..”

“කෑගහන්නෙ නැතුව පුළුවන්ද..මම.කොච්චර ආසද මේ මල් වලට.අද පන්සල් යනකොට මේ පිච්ච වැලේ ඉස්සෙල්ලම පිපුණු මල් කඩාගෙන යනවා පූජ කරන්න..”

එදා දවල් පංසලට දානෙ ගිහින් දෙන්න නැන්දලත් එක්ක ගිය කෙල්ල ඉර හැරෙනකන් ගෙදර ආවෙ නැත්තෙ මොකද බලන්න සිමියොන් තමන්ගෙ නංගිලයි ගෙවල්  පැත්තට යන්න ගත්තෙ රබර් වත්ත මැදින්.
ඒ යනකොට පාරෙ ඈත කෙලවර ඉදන් අත් අල්ලගෙන එන ජෝඩුව දිහා සිමියොන් උවමනාවෙන් බැලුවා.ඒ හුරු පුරුදු රුව අඩ අඳුරෙ වුනත් අඳුරගන්න සිමියොන්ට වැඩි වෙලාවක් ගියෙ නෑ.

“ම..මලිති..”

“තාත්තේ..මම මේ ගෙදර එද්දි මේ සමන් අයිය හම්බුනා.හවස් වෙලා තනියම යන එක හොද නැති හින්ද තමයි සමන් අයිය මාව ඇරලවන්න එන්න ආවේ..”
මලිති වෙවුලන කටහඬින් කිවුවත් මෙතන සිද්ධිය මොකක්ද කියල සිමියොන්ටත් තේරිලයි තිබුණෙ.
මොනවත්ම නොකීවත් සිමියොන්ගෙ හිතේ දාහක් දේවල් පොර කෑවා.

“ඔය මිනිස්සු කොයි ලෝකෙ ඉඳන් ඇවිල්ලද, කාගෙ කවුද කියල අපි දන්නවද දුවේ..අද අම්ම අප්පවත් විස්වාස කොරන්න පුලුවන් කාලයක් නෙවෙයි මේ..”
මලිති වත් ලංකරගෙන සිමියොන් එදා එහෙම කිවුවා.

“එහෙම නෑ තාත්තෙ..සමන් අයිය නරක කෙනෙක් නෙවෙයි.අම්ම තාත්ත කවුරුත් නෑ.මාව කසාඳ බඳින්න කැමතිලු.”

කතාවෙන්, හැසිරීමෙන් නරක කෙනෙක් බව නොපෙනුනත් සිමියොන් එක සැරේම වචනයක් දෙන්න තරම් ඉක්මන් උනේ නැතත් ලොකු අකමැත්තක් පෙන්නුවෙත් නෑ. ඒත් හැමෝටම හොඳ මූණ පෙන්නගෙන හිටපු සමන්ගෙ සැබෑ ස්වරූපය කවුරුත් නොදැන හිටපු එක හෑමෝගෙම අවාසනාවට හේතු වෙන්න ඇති.

“මලිති..මොකද තමුසෙ අර සුගත් එක්ක කතාවට  යන්නෙ? මම කැමති නෑ මගෙ යාලුව උනත් එක එකා එක්ක තමුසෙ කතාවට යනවට..”
දවසක් රබර් කැලේ පාරෙදි සමන්ව හමුවෙන්න ආපු මලිතිට සමන්  බැන වැදුනෙ ඔහුගෙ යාලුවෙක් වුන සුගත් සමග කතා කරමින් සිටි වරදට.

“අනේ නෑ සමන් අයියෙ.නිකන් කතා කර කර හිටියෙ..මූණට හම්බුනාම කතා නොකර පුළුවන්ද?”
මලිති කිවුවෙ බිම බලාගෙන බයෙන් වගේ.

මේ සැකය වරක් දෙවරක් සිදුවූ දෙයක් නොවේ.සමන් නිකරුණේ බොරු සැකයක් මවාගනිමින් මලිතිට බැණ වැදීම දැනගත් සිමියොන්ගෙ සිතටද එය මහත් වදයක් වුනා.එහෙත් මේ සම්බන්දය නවතන්න මලිතිගෙ හිතේ වැඩි කැමැත්තක් නොතිබුණෙන් සිමියොන්ගෙ තීරණය වුනේ කාලයට ඉඩ දෙන්න.
ඒක සිමියොන්ගෙ ජීවිතේ ලොකුම මෝඩකම වුනා.අහිංසක මල් කැකුලක ඉරණම තීරණය වෙන්න ඒ තීරණය බලපාමින් ඒ අවාසනාවන්ත දවස උදා වුනා.

එදා තම නැන්දාගේ නිවසට ගොස් ආපසු එමින් සිටි මලිති රබර් වත්ත අසල නැවතුනේ හුරුපුරුදු කටහඬක් නිසා.ඒ සුගත්.සමන්ගෙ මිතුරා.

“ආ නංගි..මොකද මේ අපිව දැක්කෙ නෑ වගේ යන්නෙ? තරහ වෙලාද?”

“අනේ නෑ අයියෙ..එහෙම දෙයක් නෑ.කෝ සමන් අයියා? ”
මලිති ඇහුවෙ නිතරම සුගත් එක්කම ඉන්න සමන් පේන්න නොහිටපු නිසා.

“මම මේක නංගිට කියන්නමයි හිටියෙ..අර සමන්මලී නංගිත් එක්ක සමන්ගෙ මොකක් හරි සම්බන්දයක් තියනවා.මගෙ අතටම අහු වුනා...”

“මො..මොනවා?මොනවද අයියෙ ඔයා මේ කියන්නෙ? සමන් අයිය එහෙම කෙනෙක්ද? මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ එයා මට මෙහෙම කරයි කියලා..”
මලිති අඬන්න පටන් ගත්තා.

“අඬන්න එපා නංගි..අපි බලමුකො ටිකක්..”

එකවරම එතැනට ආපු සමන්ගෙ සැකය දිය යට හංගපු රබර් බෝලයක් වගේ උඩට මතු වුනේ හඬමින් සිටි මලිති අසලින් සිටි සුගත් නිසා.

“ආ..ඇයි මොකද මෙයා අඬන්නෙ? සුගත්..උඹද දැන් මෙයාව සනසවන්නෙ?උඹ මේක දැනගනින්..මම උඹව තියන් නෑ..”

“සමන්..මේක අහපන් ඉස්සෙල්ලා..”

“අහන්න? තව මොකක් අහන්නද..මම ඔක්කොම දැක්කා මේ ඇස් දෙකටම..උඹල හැදුවෙ මාව රවට්ටන්නද? උඹ පලයන් මෙතනින්.මම එව බලාගන්නම් මේකිත් එක්ක..”

“අනේ සමන් උඹ වැරදියට හිතන් ඉන්නෙ..එහෙම දෙයක් නෑ මෙතන.නංගිට බනින්න එපා..”
සුගත් බැගෑපත් වුනත් සමන්ගෙ කේන්තිය ගැන දන්න නිසාම ඔවුන්ටම ප්‍රශ්නෙ විසඳගන්න ඇරල ඔහු එතැනින් පිටත් වුනා.

“පර බැල්ලි..තෝ මාව ගොනාට අන්දන්නද හිතුවෙ..?”

“සමන් අයියෙ ඔයා මේ මොනවද කියන්නෙ? මාව සැක කරන්න කලින් මට කියන්න මේ ඔයා කරන දේ හරිද කියලා.ඔයාට මොකද්ද සමන්මලී අක්කත් එක්ක තියන සම්බන්දෙ?”

“ආ..දැන් උඹට ඒකද තියන ප්‍රශ්නෙ? එහෙනම්  දැනගනින්.මම සමන්මලිත් එක්ක යාලුයි තමයි.මට කවදාවත් උඹව කසාද බඳින්න ඕන වුනේ නෑ යකෝ.උඹ වගේ හිඟන්නියෙක් නෙවෙයි සමනලී.මම උඹව තියන් හිටියෙ උඹේ ලස්සනට ආස නිසා...”
සමන් වියරු විදියට හිනා වෙමින් කිවුවා.

ඒ වචන මලිතිගෙ පපුවට කිඳා බැස්සෙ පිහි තුඩු වගේ.මලිතිගෙ මුළු ලෝකයම කඩා වැටුනා.අහිංසකී මහ හඬින් හඬමින්ම සමන්ගෙ පපුවට ගහගෙන ගියේ මොනවත්ම  හිතාගන්න බැරි තැන.තාත්තගෙන් පස්සෙ මේ ලෝකෙන්ම විශ්වාස කරපු එකම පිරිමියගෙ කටින් ඒ වගේ වචන ඇහෙද්දි කොහොම ඉවසන්නද..
රබර් වත්ත අඳුරු කරගෙන ආපු වැහි වළාව මලිතිගෙ ජීවිතේම අඳුරු කරමින් මහ වරුසාවක් බවට පත් වුනා.ඒ හැඩිදැඩි සිරුරෙන් බේරෙන්න තමන්ගෙ මුළු ශක්තියම යෙදෙවුවත් මලිති අපොහොසත් වුනා.වැස්සත් එක්කම හමාගෙන ආපු හුළඟට රබර් ගස් ඇඹරෙමින් විලාප දෙද්දි මහ හඬින් කෑ ගහල හඬන මලිතිගෙ අදෝනාව අහන්න ඒ පාලු රබර් වත්තෙ කවුරුත්ම හිටියෙ නෑ.
තවත් කෑගහන්නවත් හයියක් නොතිබුනු මලිතිගෙ ඇස් වලින් වැටුනු කඳුලු මහ වැස්සෙ වතුරටම මුසු වෙලා ගලා ගියා.
අනෝරා වැස්ස තුරල් වුනේ මලිතිගෙ ආත්මයම දියකරල දැම්මටත් පස්සෙ.දරුණු කොටියෙක් හප කරල දැම්ම වගේ රිදුම් දෙන සිරුරට වඩා රිදිල තිබුනෙ හිත.

“දුවේ පරිස්සං වෙයං.මේ ගෙයින් එළියට බැස්සට පස්සෙ ඉන්න උන් විස්වාස කොරන්න  අමාරුයි...”
මලිතිගෙ කන් අස්සෙන් තාත්තගෙ වචන දෝංකාර දුන්නා. ඒත් එක්කම ඇසුනු ශබ්දයක් සමගම විශාල වේදනාවක් දැනී ලෝකයම අඳුරු වුනා.විකසිත වෙන්න පෙරුම් පුරපු පිච්ච මලක් තැලී පොඩි වී පරව ගියා.

“නංගියේ...නංගියේ..අපේ මලිති කෙල්ල ඉන්නවද? දැං කරුවලත් වැටුනා.මේකිට බෑනෙ ඇඳිරි වැටෙනකොට ගෙදර එන්න..”

හුළු අත්ත නිවා ගෙට ගොඩවුනු සිමියොන් කිවුවෙ පොඩිනාට.ඒ ඇසූ පොඩිනා පුදුම වුනේ මලිති පිටවී පැය ගණනකුත් පසු වී ඇති නිසා.

“ඈ අයියෙ..කෙලී මෙහෙන් පිට වෙලා දැන් කොච්චර වෙලාද.අර මහ වරුසාව වැටෙන්නත් කලියෙන් ගෙදර යනවයි කියල ගියෙ..”

“හත් දෙවියනේ..මේ කෙල්ල කොහේ ගියාද?”
සිමියොන්ගෙ පපුව ගිනි ඇවිලෙන්න වුනා.

ඒ ගමන්ම සිමියොන් පිටත් වුනේ සමන් හමුවෙන්න.කොහේදෝ ඉදල තෙමීගෙන ආපු සමන් කිවුවෙ ඊයෙ මලිති හමු වුනායින් පස්සෙ තව වනතුරු දැක්කෙ නැති බව.සිමියොන් පිස්සෙක් වගේ ගෙයක් ගෙයක් ගානෙ දිවුවෙ තමන්ගෙ පණ හා සමාන,තමන්ගෙ එකම වස්තුව වෙච්ච දියණිය සොයාගෙන.

“ඇත්ත කියපන් සමන්..උඹ අර කෙල්ලට මොකද්ද කලේ..? ”

සුගත් සමන්ගෙ කොලරයෙන් අල්ලා ඇදල ගන්න ගමන් සමන්ගෙන් ඇහුවෙ හදවත අමුතු බියකින් වෙලා ගද්දි.සමන්ගෙ හැටි දන්න නිසාම සුගත්ට වෙලා තියන දේ හිතාගන්න අමාරු වුනේ නෑ.

“ඇයි උඹට අමාරුද ඒකි ගැන? උඹ මේක ගැන කාටහරි කියල තිබ්බොත් උඹ බේරෙන්නෙත් නෑ.අන්න ඒක මතක තියාගනින්..”
සමන් සුගත්ව පැත්තකට තල්ලු කරමින් කිවුවා.

ගම්මුන් එකතුවෙලා ගම පීරුවත් මලිතිව සොයාගන්න බැරිවුනා.එදාම ඇතිවූ රටේ කලබල නිසා රටපුරා ක්‍රියාත්මක කරන ලද ඇඳිරිනීතිය සියල්ලෝම නිවෙස් වලට සිරකර තැබීමත් ,රට තුල තිබූ උණුසුම් තත්වය යටතේ මලිතිගේ අතුරුදන් වීම සෙවීමට පොලීසියට නොහැකි වීමත් යන කරුණු අසරණ මලිතිට සාදාරණය ඉටු නොවීමට හේතු වුනා.
එහෙත් මලිති සොයා යන මෙහෙයුම තවදුරටත් කරගෙන ගිය එකම පුද්ගලයෙක් සිටියා.ඒ සිමියොන්.ඔහු ගමේ සෑම බිම් අඟලකම මලිතිගේ සළකුණු සෙවුවා.

මලිති සෙවීමට සමන්ගේ ඇල්මැරුණු උනන්දුව සිමියොන්ගෙ හිතේ සැකයක් ඇති කරන්න සමත් වුනා.පහුගිය දිනවල නිකරුණේ මලිතිව සැක කරමින් ඔහු බැණ වැදුනු හැටි රූප රාමු පෙළක් මෙන් සිමියොන්ගෙ සිතේ ඇඳුනා.එහෙත් කාට කියන්නද මේ අවනඩුව.

“අයියේ තව කොහේ කියල හොයන්නද? බලන්න පුළුවන් හැමතැනම බලල නෙ තියෙන්නෙ.අපි ටිකක් ඉවසල බලමුකො..”

පොඩිනා සිමියොන්ගෙ හිත හදන්න එහෙම කිවුවත් මොකද්දෝ නපුරක සෙවණැල්ලක් ඇගේ සිතේ හොල්මන් කලා.

“කවුරු මොනවා කිවුවත් මම මගේ කෙල්ලව හොයාගන්නවා.ඒකි මේ කොහේහරි ඇති..”
සිත තුල කැකෑරෙන දාරක ප්‍රේමය කඳුලු කැට වී ඇස් තෙමන විට හදීසියේ කකුලේ පැටළුනු කම්බි කෑල්ලක් නිසා සිමියොන් වෙලේ පිදුරු පිළිස්සූ දහයියා ගොඩේ ඇද වැටීමට ගොස් බේරුනේ අනූ නවයෙන්.

“මොකාද මේ දහයිය ගොඩේ ටයර් පිච්චුවෙ ?”
එසේ සිතමින්ම ටයර් කම්බිය පසෙකට විසි කරන විට දුටු දේ ඔහුගේ ජීවිතේ දුටු අවාසනාවන්තම දර්ශනය වුනා.

“මෙ..මේ...දැකල හුරු රෙදි කෑල්ලක්...”

සිමියොන් ඒ පිච්ච මල් විසිරී තිබූ රතු පැහැ කුඩා රෙදිකඩ අතට ගත්තෙ වෙවුලන දෑතින්.

“අනේ මයෙ රත්තරං දුවේ...”

ඒ සිමියොන්ගෙ මුවින් පිටවුන අවසාන වචනය.ඔහුගෙ දෑස් නිලංකාර වී ගියා.
නැවත ඇස් අරින විට ඔහු සිටියෙ රෝහල් ඇඳක් උඩ.

“මොකද්ද අයියෙ වුනේ..?හප්පේ අපි බය උන තරමක්..අර වෙලේ වැටිල ඉන්නකොට අපේ පොඩි කොලු තමයි දැකල තියෙන්නෙ..”

නංගියෙ මගේ කෙල්ල....එහෙම කියන්න කටඇරියත් ඔහුගෙ කටින් එකම වචනයක්වත් පිටවුනේ නෑ.

නෙතින් ගලා ආ කඳුලු කොට්ටය තෙත් කරද්දි ඔහු මෙතෙක් වෙලා ගුලි කරගෙන සිටි අත දිග හැරියා.සිහිසුන්ව ගියත් ඒ කුඩා රෙදිකඩ තවමත් අතේ රැඳී තිබුනා.පෙරදින දහවල ඒ පිච්ච මල් වැටුනු චීත්ත ගවුම හැඳ “තාත්තේ මම නැන්දලගෙ ගෙදර යනවෝ...” යි කියමින් මලිති දිව ගිය ආකාරය ඔහුගෙ සිහියට නැගුනා.හදවත පලාගෙන දරු දුක මතුවෙද්දී සිමියොන් අසරණව රෝහල් වාට්ටුවේ සිවිලිම දෙස බලා සිටියා.

“මාමේ..මාමේ...”
ආපසු නිවසට පැමිණ කිහිප දිනකට පසු ඇසුණු කටහඬින් සිමියොන් එළියට බැස්සා.

සුගත්.. කතා කරන්න නොහැකි වුවත් සිමියොන් සිතින් සිතුවා.

“මාමෙ..මම ආවෙ මම මෙහෙන් යනව කියල කියන්න..ඒත් යන්න කලින් මට මාමට දෙයක් කියන්න තියනවා..මේ වෙච්ච සේරටම මාත් සම්බන්දයි.ඒත් මම නෙවෙයි මලිතිට මේ අපරාදෙ කෙරුවෙ..මේ සේරටම වගකියන්න ඕන අර පාහර සමන්.ඌ තමයි මලිතිව මැරුවෙ.මට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි එක ගැන මට සමාවෙන්න මාමෙ.මට මම ගැනම කළකිරීමක් ඇතිවෙනවා.මම මෙහෙන් යනවා.මට හිත හදාගෙන මෙහෙ ඉන්න බෑ.මට දහස් වාරයක් සමාවෙන්න..”

ඒ වෙලාවෙ සිමියොන් ගල් ගැහිල වගේ බලාන හිටියෙ මොනව කරන්නද කියල හිතාගන්න බැරුව.කරුමක්කාර දෛවය තමන්ට මෙච්චර අසාදාරණයක් කලේ ඇයි කියල සිමියොන්ට හිතාගන්න බැරිවුනා.කාටද මේ අසාදාණය කියන්නෙ? කොහොමද ඔප්පු කරන්නෙ? ඔහු ඒ ගමන්ම ගියෙ පොඩිනගෙ ගෙදරට.මේක ගැන මොන විදියකින් හරි කාට හරි තේරුම් කරල තමන්ගෙ මැරිච්ච දුවගෙ ආත්මයට නිදහසක් ගේන්න ඔහුට ඕන වුනා.ඒත් කරුමයක මහත.ඔහු නිවසට යනවිට පොඩිනා හඬමින් සිටියා.

“අනේ අයියෙ බලන්නකො මේ අපේ කෙලී කරගෙන තියන හදිය..මේකි මේ ලිවුම් කරදහියකුත් ලියල තියන අර සමන් කියන එකත් එක්ක පැනල ගිහින්..මම ඕකිට කී දවසක් කීවද ඔය සම්බන්දෙ නවත්තන්නෙයි කියල.මේ බැල්ලි ගිහින් තියෙන්නෙ බඩකුත් හදාගෙන..”

      *********************************

ඌ බේරිලා පැනල ගියාට දැන් ආයෙත් ඇවිත්.මලිතිගේ ආත්මය වෙනුවෙන් සාදාරණයක් ඉෂ්ට කරන්න වෙලාව ඇවිත්.අවුරුදු විස්සක් පුරාවට උඹට මැරි මැරි ජීවත්  වෙන්න හේතු වුනේ ඒ පාපතරයා.ඌව ඉවරයක් කරපන්...
සිමියොන්ගෙ යටි සිත එදා රෑ එළිවෙනකන්ම මොරදුන්නෙ ඔහුට නින්දත් අහිමි කරමින්.

පසුවදා සිමියොන්ගෙ උදේ ආහාරය අරගෙන ආවෙ සමන්මලී.

“මාමෙ..කොයි කාලෙකින්ද මේ දැක්කෙ..මාම මේ ගෙයි තනියමම ඉන්නව කියල අම්ම කිවුවා.ආහ්..මේ මගේ ලොකු පුතා..මේ ඉන්නෙ පොඩි දුව.සමනුත් ආවා.අන්න ගෙදර ඉන්නවා..”
දරුවො දිහා අනුකම්පාව මුසු බැල්මක් හෙලූ සිමියොන් නැවතත් තමන්ගෙ අරමුණට සිත එකඟ කරගත්තෙ පිච්ච මල් ඉහිරුනු රෙදි කඩ අතේ ගුලිකරගනිමින්.
සමන්මලීටත් දරුවොන්ටත් යන්න ඇරල සිමියොන් හෙමීට සැරයටියට වාරු වෙමින් පොඩිනගෙ ගෙවල් පැත්තට යන්න පය එසෙවුවෙ උල් පිහියත් ඉණේ රඳවගෙන.
වාරු නැති දෙපා වලින් ඇවිදින්න හිතුවට වඩා වෙලාවක් ගියා.රබර් වත්ත ,වෙල් යාය පහු කරනකොට සිමියොන්ට අමුතු හයියක් ආවෙ ඒ හැමදේකම මතක අලුත් වෙලා.

“තව ටිකයි..ඔහොම හිටපන්..මම එනවා..”

ඒත් කකුල් කෙඩෙත්තුව ඉවසන්න බැරි තැන සිමියොන් ගලක් උඩින් වාඩි උනේ ටිකක් ගිමන් හරින්න හිතාගෙන.පන්සල දිහායින් ආපු ඝන්ඨා නාදයෙන් මතක් වුනේ.අද පෝය.
ඒත් එක්කම පන්සලේ හාමුදුරුවන්ගෙ කටහඬ ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ ඇසුනෙන් සිමියොන් ඒ දිහාට දෙසවන් යොමු කලා.
“පින්වතුනි,සිතක හටගන්නා වෛරය මොනතරම් දුරක් යනවද! භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සසර පුරුද්දක් හැටියට වගෙයි. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලොව තිරිසන් ලොව, පේ‍්‍රත ලොව ආදී කොයි ලෝකෙදි වුනත්, වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා. පළිගන්නවා. වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. එහෙම නම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. එ් වගේම වෛර නොකිරීමමයි උතුම්. එනිසාමයි සංසිඳීම ඇති වන්නේ.

වෛරයක් ඇති වුනොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛතී‍්‍ර සිත නිසාත් වෛරය දුරුවෙලා යනවා...”

“මාමේ..ඇයි මෙතන?”

බුදු වදනට සමවැදී උන් සිමියොන් පියවි සිහියට ආවෙ තමන්ගෙ පරම හතුරා වුන සමන්ගෙ කටහඬින්.ඔහු දෙලොවක අතරමං වුනා.මීට සුළු මොහොතකට පෙර ඇසූ බණ පදය ඔහුගෙ කෝප සිත දමනය කර තිබුනා.ඔහු තමන්ගෙ අතෙහි වු පිච්ච මල් රෙදි කඩ දෙසත් සමන් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා.
ඒත් එක්කම සිමියොන්ගෙ පපු දෙසින් ආ වේදනාවත් එක්කම ඔහු පපුව අල්ලාගෙන වේදනාවෙන් බිම පෙරළුනා.

“මාමෙ..මොකද උනේ..?යමු ඉස්පිරිතාලෙට..”

වහා ක්‍රියාත්මක වූ සමන් ඔහුගෙ හැඩි දැඩි අත් වලින් සිමියොන් ඔසව ගත්තෙ පොඩි දරුවෙක් වගේ.

“තාත්තෙ...තාත්තා මම වෙනුවෙන් හුඟක් දුක් වුනා..තාත්ත තවත් දුක් විඳින්න එපා.මම වෙනුවෙන් වෛර කරලා පළි අරගෙන තාත්තගෙ සසර ගමන දික් කරගන්න එපා.මේක අපේ ලැබීම.තාත්ත එන්න මමයි අම්මයි ලඟට..”

මලිති ලස්සන සුරංගනාවියක් වගේ අත් දිගු කරමින් සිමියොන්ට කතා කරමින් සිටියා.ඇය හිටියාටත් වඩා ලස්සනයි.පිච්ච මලක් වගේ පිවිතුරු හිනාව නම් ඒ විදියමයි.

ඒත් එක්කම වැදුනු විදුලි සැරයකින් සිමියොන්  ඇස් ඇරියා.ඔහු හිටියෙ රෝහල් කාමරයක.

“පේෂන් අමාරුවෙන් ගොඩ ආවෙ..වැඩිය මහන්සි කරන්න එපා.ඉක්මනින් බලල යන්න..”
වෛද්‍යවරයෙකුගේ කටහඬ ඇසී නෑසී ගියා.

“මාමෙ..” සීතල වෙලා තිබුනු දෑත් වලට දැනුනු උණුසුමෙන් සිමියොන් ආයෙත් ඇස් ඇරියා.ඔහුගෙ ඇඳ අසල සිටගෙන සිටියෙ සමන්.හෙමින් ඇස් අග්ගිස්සට මෝදු වුන කඳුලක් කොට්ටය සිප ගනිද්දි ඔහු අමාරුවෙන් සමන්ගෙ අත අල්ලගත්තා.

“මට සමාවෙන්න මාමෙ..මාමට බුදු බව අත්වෙන්න ඕනි මං වගේ එකෙකුට සමාව දුන්නට.සුගත් මාමට හැම විස්තරයක්ම කිවුව කියල මම දැනන් හිටියා.ඒකයි මම මාමව මග ඇරියෙ..මගේ මෝඩකමට එදා එහෙම දෙයක් උන එකට අදටත් මම පසු තැවෙනවා.මේ රෙදි කෑල්ල මාමගෙ අතේ තිබුනෙ..මට මතකයි.මලිති නංගිඑදා ඇඳගෙන හිටියෙ මේ පිච්ච මල් වැටුනු ගවුම..”
සමන්ගෙ වචනවල තිබුනෙ පසුතැවීමක්.සිමියොන් වෙවුලන දෙඅත් වලින් ඒ පිච්ච මල් ඉහිරුණු රෙදිකඩ අතට අරන් ගුලි කරගත්තා.ඔහුගෙ හිතට දැනුනෙ කවදාවත් නැති තරම් සාමකාමී නිදහස් බවක්.
ඔහු ලස්සන මල් මාවතක ඉදිරියට ගමන් කලා.ශරීරයේ තිබුණු වේදනාවන් තවදුරටත් තිබුණෙ නෑ.මාවතේ ඈත කෙලවරේ මලිතිත් සිමියොන්ගෙ ආදරණීය බිරිඳත් ඔහු එනතුරු දෑත් දිගු කර බලා සිටියා.

නිමි.

Comments

Popular posts from this blog

01

යස්ස ගෑනී